Social Icons

Pages

Saturday, August 25, 2012

ලග්න පලාඵල විස්තර


ලග්න පලාඵල විස්තර

මේෂ ලග්නය
          මෙම ලග්නයෙන් උපන් පුද්ගලයන් කඩිසර හා නොපසුබස්නා වීර්යයෙන් යුතුය.කුමක් සිදුවුවද කම් නැත යන හැගීමෙන් යුතුව ක්‍රියා කරයි.උෂ්ණාධික ශරිර වලින් යුක්තය.එසේම හැඩිදැඩිය.ශරීරයේ තැනින් තැන ළප කැලැල් කිහිපයක් පවති.නිතරම කලබල ගතියෙන් යුතුව ක්‍රියා කරයි.කෙතරම් බාධක පැමිණියද තමා අරමුණු ඉටුකර ගැනීමට වෙහෙස වෙයි.එහෙත් බොහෝ අවස්ථාවල දුරදිග නොබලා කටයුතු කරයි.ඇතැම් දේ පිළිබදව දැඩි ආශාවන් ඇති කරගනියි.
සිය අදහස් නොසගවා පවසන මේෂ ලග්න හිමියන් කරන කියන සෑමදේම තම සිතට එකව ක්‍රියා කරයි.නිර්භීතය.එහෙත් ඔවුන් දුරදිග නොබලා කටයුතු කිරීම නිසා බොහෝ අවමන් හා පාඩු සිදුකර ගනියි.






සටන් කළ යුතු අවස්ථාවේදි සටන් කිරීමට පසු නොබසී.කයින් එඩිතර උවද ඇතැම් අවස්ථාවල සිතින් දුබල වෙයි.ඇතැම් දේ පළමුවෙන් සොයා ගැනීමට උත්සාහ දරයි.ආත්මාර්ථකාමි වේ.අනුන්ගේ වැඩ වලදී ඒකාධිපතියෙකු ලෙස අහංකාරව අණ දීමට කැමැත්තක් දක්වයි.
      අධිපති       - කුජ
     මැණික      -රතු මැණික්

වෘෂභ ලග්නය
          ස්ථුල ශරියන්ගෙන් යුතු වෘෂභ ලග්න හිමියන් පළල් මුහුණක් හා විශාල වු දෑස් පිහිටයි.බොහෝ ආදරය දක්වන්නා වු මොවුන් සෙල්ලක්කාරයන් ලෙස ජිවිතයට මුහුණදෙයි.හිතුවක්කාර ගතියෙත් යුතු ඔවුන් සකසුරුවම නොහදුනති.ඒ පිළිබදව විශ්වාසයක්ද ඔවුන් තුළ නොමැති අතර අවුල් වියවුල් වලට අකමැතිය.එසේම ඉතා තද ස්ථිර ගති පැවතුම් වලින් යුතුය.උපතින්ම කම්මැලිය.සුළු දේ පවා හිතේ ධාරණය කරගෙන සිටී.මෘදුවු සානුකමිපිත හදවතක් හිමිය.ඉවසිමේ හැකියාවෙන් යුතුය.බීම වර්ග වලට දැඩි කැමැත්තක් දක්වයි.
          අර්ථ ශාස්ත්‍රයන්ට ඉතාම දක්ෂ වු ඔවුන් ධනවතුන් බවට පත්වේ.ත්‍යාගවන්තයන්ය.සංගීතය හා නාට්‍යය ආදියට කැමැත්තක් දක්වයි.
විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ලොල් බවක් දක්වයි.කාන්තාවන්ගෙන් ධනය ලැබීමට ද හිමිකම් තිබේ.රැවිටිලි කරුවන්ට ද අසුවිමට ඉඩ ඇත.
අන් අයට ප්‍රිය වන ඔවුන්ගෙන් ආදරය ලබන පුද්ගලයන් වේ.වෘෂභ ලග්න හිමියන්ට බොහෝ විට ගැහැණු දරුවන් උපදියි.
     අධිපති      - සිකුරු
    මැණික      - දියමන්ති

මිථුන ලග්නය
          ඥානවන්තයන් වන මිථුන ලග්න හිමියන් යහපත් දේ පිළිබද සිතන කරුණාවන්ත සිතක් ඇති සතුන්ට දැඩි ලෙස ආදරය කරන පුද්ගලයන්ය.නිර්ලෝභිය.දුර දිග බලා තම වාසි අවාසි සලකා ක්‍රියා කරයි.නිතරම කල්පනාකාරීව කටයුතු කරයි.තම හැගීම් වලට මුල් තැන දෙමින් කටයුතු කරයි.තමන් ගත් තීරණය වැරදි බව වැටහුන විට එය වෙනස් කිරීමටත් පසුබට නොවෙයි.අන්‍යයන් සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට දක්ෂය.ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තය.
          මොවුන් චංචල ස්වභාවයන්ට පත්වේ.සමාජ සේවා කටයුතු කෙරෙහි මහත් අභිරුචියක් දක්වන මහජන ‍ගෞරවයට පාත්‍රවෙයි.අනුන්ට ආධාර කිරීමට කැමැත්තක් දක්වයි.ස්ත්‍රීන් කෙරෙහි ප්‍රියතාවක් දක්වන මොවුන් තරමක් සුන්දර පුද්ගලයන් ය.
          තම තරාතිරම දැන කටයුතු කරන මිථුන ලග්න හිමියන් අන්‍යයන් අවනත කර තම වාසියට යොදා ගැනීමට හැකියාවක් ඇත.කපටිය.දක්ෂ කථිකත්වය නිසා ප්‍රසාදයටත්,ප්‍රසංසාවට ලක්වුවද ඇතැම් අවස්ථාවල කට නිසා අනවශ්‍ය කරදරවලටද පැටලේ.
     අධිපති     - බුධ
     මැණික    - පච්ච - ගෝමේධ

කටක ලග්නය
          කටක ලග්න හිම්යන් අවංක හා හෘදයාංගම සිතුවිලි වලින් යුක්තය.පෙරළිකාරයන් මෙන් කතා බහ කළද කලකෝලහල ඇතිකර ගැනීමට අකමැතිය.සමාජය සමග ගැටීටම අකමැතිය.නිශ්චලව සිතා මතා කලබල රහිතව කටයුතු කිරීමට දක්ෂය.ඉදිරියේදි පැමිණෙන කරදර පිළිබදව කල් ඇතිව සිතයි.
           නිතරම අන්අය කෙරෙහි සැකයෙන් බැලීම නිසා කටක ලග්න හිමියන්ගේ අදහස් තෙරුම් ගැනීම අපහසුය.අන් අය කෙරෙහි සැකයෙන් බැලුවද,විශ්වාසවන්ත මිතුරන් දෙතුන් දෙනෙකු හෝ ඇති කරගනියි.සෑම විටම ප්‍රෙවේශමෙන් තම කටයුතු කිරීමට උත්සාහ කරයි.ඒ පිළිබද බලාපොරොත්තු තබා ගනී.ඒ නිසාම ඇතැම් අවස්ථාවල මුලාවටද පත් වේ.
ජ්‍යොතිෂ්‍ය වැනි ගුප්ත විද්‍යාත්මක කටයුතු වලව කැමැත්තක් දක්වයි.පාලන කටයුතුවලට දක්ෂ වුවද ධන සම්පත් පාලනයට අදක්ෂය.නින්දා, අපහාස වලට පාත්‍රවීමට ඉඩ ඇත.නිතර නිතර උදරයේ රෝගයන්ගෙන් පෙළේ.
     අධිපති     - චන්ද්‍රයා
     මැණික    - නිල්

සිංහ ලග්නය
          සිංහයෙකුගේ මෙන් ගතිගුණ වලින් යුක්ත වුවද ඉතා උතුම් වු අදහස් ඇත්තන්ය.නිදහස් ලෙස සිතීමට මෙන්ම නිදහසේ සිටීමටත් ප්‍රිය කරයි.ක්‍රියාශීලිය.අනුන්ගේ සිත් නම්මවා ගැනීමට සමත්ය.ඉතා සංවේදි පුද්ගලයන්ය.ආඩම්බර වු සිංහ ලග්න හිමියන් මහත්ම ගතිගුණ වලින් යුක්තය.දඩුවම් කිරීමට මෙන්ම සමාවදීමටත් කැමතිය.ස්ථිර ගති ඇති නිසා ලාභ මෙන්ම පාඩුඩ සිදුකරගනියි.පාඩු සිදුවුවද සිත සසල කර නොගනියි.කතාවට අන් අය වසගවේ.කරුණාබර සිතක් ඇත.ළෙන්ගතුය.අන් අයගේ ගෞරවයට පාත්‍ර‍වේ.වීර්ය,වික්‍රම,තෙද ඇත්තේය.මව්පියන්ට දැඩිව ආදරය කරයි.සහෝදරයින් වෙනුවෙන් ජීවිතය පුද කිරීමට පවා සූදානම්ය.එහෙත් ඔවුන්ගේ ආදරය නොලැබුන විට,සතුරෙකු සේ ඉවතලන්නටද පසුබට නොවෙයි.වස්තුව උපයයි.අනුන්ගේ අදහස්වලට ගරු නොකරයි.
          බොහෝ අය ඇසුරු කරයි.රැවීටීමට ලක්නොවේ.ක්‍රිඩාවට මෙන්ම සාහිත්‍ය කටයුතු හා සැර බීම වර්ග වලට කැමතිය.සමාජයේ ඉහළම වැදගතුන් ඇසුරු කිරීමට තරම් වාසනාව ඇත.කුසගින්නේ සිටීමට වුවද හැකිය.ප්‍රසිද්ධිය නොඉල්ලුවද කුමන දෙයකින් හෝ ප්‍රසිද්ධිය ලබති.විරුද්ධ ලිංගිකයන්ට ප්‍රිය බවක් දක්වයි.
     අධිපති     - රවි
     මැණික    - පද්මරාග

කන්‍යා ලග්නය
          කන්‍යා ලග්න හිමියන් ඥානයෙන් යුතුව කටයුතු කරයි.ව්‍යාපාර ඥානයෙන් යුක්තය.ඉගෙනීමට කැමැත්තෝය.භාෂා කීපයක් උගනියි.ඉතාමත් කීකරු දරුවන්ය.විනෝදයට කැමැතිය.එහෙත් නිසංසලව හා විවේකයෙන් සිටීමටද කැමතිය.ප්‍රියමනාපය,කඩිසරය,උත්සාහවන්තය.
අන් අයට අනුකම්පා කිරීමට ද කැමතිය.මිනිසුන් පිළිබද සිතන්නේ තමන්ට රිසි ලෙසය.ඒ නිසාම මිතුරන් වැඩිකල් නොරදති.අන් අය කෙරෙහි වැඩි විශ්වාසයක් නොමැත.බොහෝ තැන්වල ඇවිදියි.කෙතරම් වස්තුව උපයා ගත්තද ජීවිතයේ අවසාන භාගයේදි බොහෝ දේ නැති කර ගනී.
          කාන්තාවන්ට ඇළුම් කරයි.දරු සම්පත් අඩුය.ඉතා සුළු දේ ගැන පවා මහමෙරක් සේ සිතයි.ඒ නිසාම පාඩුද ඇති කර ගනියි.කිසියම් පිළිවෙලකට තමන්ගේ දේ අසුරා ගැනීමට කැමැත්තක් දක්වයි.පොත්පත් කියවීමට මෙන්ම ලිවීමටත් එකසේ කැමැත්තක් දක්වයි.හොදින් ඇහුම්කන් දෙයි.අනුකම්පා කරයි.රසවත් දේ ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වයි.ඇසට ප්‍රියමනාප වු දේ එකතු කර ගැනීමට අශා කරයි.තරමක් මසුරු සිතක් ඇත.
     අධිපති     - බුධ
     මැණික    - පච්ච,තෝරමල්ලි

තුලා ලග්නය
          තුලා ලග්න හිමියන් යහපත්ය,ශිලාචාරය,තුලනාත්මක ලෙස එනම් අපක්ෂපාති ලෙස තීරණයන් ගැනීමට උපතින්ම ශක්තිය ඇත.යමක් කිරීමට පෙර එහි දෙපැත්තම සලකා බලයි.අන් අයගේ සිත් දිනාගැනීමට දක්ෂයන් මෙන්ම ඔවුන්ගේ සිත් සතුටු කිරීමට අති දක්ෂයන්ය.සංග්‍රහ සත්කාර කිරීමට කැමතිය.අන් අයගේ දේ ගැන උනන්දුවක් දක්වයි.කවිය,සංගීතය,නර්තනයට කැමතිය.දුර දිග බලා තීරණ ගැනීමට මෙන්ම එම තීරණ වෙනස් කිරීමටද එකග වෙයි.
          දැහැමි පුද්ගලයන්ය.ගුණවත්ය.නීති ගරුකය.ඒ නිසාම අන් අය අතර කරුණාවට හා සම්මානයට පාත්‍රෙව්.ගෞරවය හා ප්‍රසිද්ධිය ලබයි.පිරිසිදු සිතක් ඇතිමුත් අනුන් රැවටීමට සිතුවොත් ඒ සදහාද ඕනෑම උපක්‍රමයක් සිතීමට මෙන්ම ක්‍රියාවට නැංවීමටද සමත් වේ.
          මද සිනා පාමින් ඕනෑම දුකක් විදදරා ගැනීමට ශත්තියක් තිබේ. ස්ත්‍රීන් සදහා ළෙන්ගතු කමක් හා ආදරයක් නිරතුරුව උපදී.නෑයින්ට හිතවත්ය.උදව් උපකාර කරයි.සෘජු වු සිතක් ඇත.වාසනාවන්තය.විහිළු කිරීමට කැමැත්තක් දක්වති.යුක්ති ගරුකය.මදකොට බුදින්නෝය.කෘෂ ශරීර ඇත.රාජ්‍ය හා සමාජසේවා කටයුතු ආදිය කෙරෙහි යොමුවෙයි.
     අධිපති     - සිකුරු
     මැණික    - දියමන්ති

වෘශ්චික ලග්නය
          වෘශ්චික ලග්නයෙන් උපන් පුද්ගලයන් ශක්තිමත් ශරීර හිමි ධෛර්යවන්තයන්ය.සැප දුක දෙකම එක ලෙස දරා ගත හැක. ඔවුන්ටම විශේෂිත වු යම් යම් හැසිරීම් වලින් යුක්තය.යහපත් පුද්ගලයන් වුවද ඒකාධිපතිත්වය සිත තුළ රජ කරයි.තමන්ගේ අඩුපාඩු නොපෙනේ.එහෙත් වැඩිපුර තමන් ගැන සිතයි.යමක් කරන විට ඉදිරි කරදර ගැනද සිතන්නට පෙළබේ.කුඩා අවදියේදි දගකාර දරුවෙකි.
          දක්ෂ,කඩිසර බොහෝ රහස් සිතේ සගවා කටයුතු කරයි.එනිසාම බියකරු දේ කිරීමට පවා මැලි නොවේ.රෑ දවල් නොබලා කටයුතු කිරීමට ශක්තිය හා එඩිතර බවක් තිබේ.සියලු අරමුණු ඉෂ්ට කර ගැනීමට උත්සාහ දරයි.තමාගේ සේවකයින්ට මෙන්ම ස්වකීය සහචරයන්ටද සමානව නොසලකයි.ස්තී පක්ෂය පිළිබද වැඩි කැමැත්තක් දක්වයි.කිසිදු විටක වෙහෙස මහන්සිය ගණන් නොගනී.කෘශ ශරීරයක් මෙන්ම කෘෂ වු දෙනෙත් ද ඇති මොවුන්ට ගුරුවරුන් නොමැත.රහසේ කරන අපරාධ වලට පවා සිත යෙදවීමට පසුබට නොවෙයි.
          රජුන්ගේ වරප්‍රසාද පවා ලබයි.පණ්ඩිතයන් ලෙස සිතයි.තම ශරීරයට මෙන්ම තම ආත්මයට ද ප්‍රබල ලෙස වධ හිංසා දීමට මෙන්ම ආත්ම පරිත්‍යාගයන් කිරීමටද මැලි නොවෙති.
          මද ආයු ඇත්තන්ය.වීර්ය වන්තයන්ය.දුබල තැන් දැකීමට ප්‍රියය.දුටුදේ කරන්නට උත්සාහ කරයි.ඕනෑම අවස්ථාවක තමන් ප්‍රධානියා ලෙස සිතයි.නිරායාසයෙන්ම ප්‍රධාන තැන් ලබා ගනී.උසස් අය ඇසුරු කරයි.
     අධිපති     - කුජ
     මැණික    - තද රතු

ධනු ලග්නය
          ධනු ලග්න හිමියන් ක්‍රීඩාවට දක්ෂය.ඒ සදහා දැඩි උනන්දුවක් ද දක්වයි.සතුන් සමග සෙල්ලමට කැමතිය.අවස්ථානුකූලව කටයුතු කරයි.තම අදහස්ම ක්‍රියාවට නැංවීටම කැමත්තක් දක්වයි.කඩිසර මෙන්ම කලබල කාරයන්ද වන මොවුහු විශ්වාසයෙන්ද, අවංකවද, මිත්‍රයන්ට සලකති.නිදහසට කැමතිය, ශක්තිමත්ය, ස්වාධීනව කටයුතු කිරීමට දක්ෂයන්ය.අනාගතය ගැන නිතරම සිතති. ගෞරවයට පාත්‍රවීමට කැමතිය.අන්‍යයන් කෙරෙහි අනුකම්පාශිලිව කටයුතු කරයි.කලා කටයුතු කෙරෙහි කැමැත්තක් දක්වයි.
          මුහුණ වටාකාරය, කතාවේ දක්ෂකම නිසා තමන්ට විරුද්ධකාරයින් ඈති කර නොගනියි.පටුවන් ඈස් සහිතයි.අනුන්ගෙ දෙයක් සොරා ගෙනීම වෙනුවට තමන්ගේම උසස් නිර්මාණයක් කිරීමට එළි දැක්වීමට මහත් කැමතිය.ත්‍යාගවන්තය.බොහෝ ශාස්ත්‍ර දනිති.නීතියත් යුක්තියත් ගැන ප්‍රබල වු හැගීම් ඇත.සාධාරණය ඉටු කිරීමේදි අවංකවම කටයුතු කරයි.පණ්ඩිතයන්ගෙන් පවා පිදුම් ලබති.තම අදහස් පැතිරවීමට වෙර දරති.ඒවා පිළිගැන්මට කැමති අයට උදව් උපකාර කරති.මාන්නක්කාරයන්ය.ඒත් වාසනාවන්තයන්ය.සිත නිතරම සතුටින් තබා ගනිති.
          යුද්ධයට දක්ෂයින්ය.ප්‍රිය වූත් සතුට උපදවන සුලුවූත් දරුවන් ඇත්තේය.යුක්තිය උදෙසා සටන් කිරීමට පවා පෙළඹේ.පළල් අදහස් නිසා උසස් වීමේ හා මතුවීමේ හැකියාව තිබේ.ලොකු ලොකු දේ සටනට ගියද කුඩා දේ අත්හැර දමයි.
       අධිපති    - ගුරු
      මැණික    - පුෂ්පරාග

මකර ලග්නය
          මකර ලග්න පුද්ගලයන් ඉක්මන් කාරයන්ය.සැප මෙන්න දුක් විදීමටද මැලි නොවෙති.එහෙත් අහස උසට බලාපොරොත්තු පොදි බැද ගනිති.චංචල සිත් ඇති නිසා අන් අය කෙරෙහි විශ්වාසයක් නොතබයි.රැස් කරන්නට මෙන්ම වැඩපලෙහි යෙදීමටත් කැමැත්තක් දක්වයි.යුතුකම් ඉටු කරයි.තමන්ගේ වාසනාව රැදී ඇත්තේ ඔවුන් තුළමය.නිතරම තමන්ගේ දුර්වලකම් සගවා තමාගේ හැකියාව පෙන්වීමට වෙර දරයි.උසස් තනතුරු ලැබීමට භාග්‍යය තිබේ.බලයට කෑදරය.තමාගේ වාසියම බලාපොරොත්තු වෙති.
          නොනිසි ලෙස කටයුතු කිරීමෙන් බලාපොරොත්තු කඩකර ගනී.යමක් තමන්ට ලැබෙන තුරුම එය ලැබේවි යැයි විශ්වාස කිරීමට මැලිවෙති.තම සිත පාලනය කර ගැනීමට බලයක් තිබේ.ලොභකමක් ඇත.යම් අරමුණකට සිත යෙදවූ විට ඉතාමත් හොදින්, සාර්ථක ලෙසට එහි අවසාන ඉලක්කය දක්වා සීඝව ගමන් කිරීමට දක්ෂතාවක් ඇත. බොහෝ විට මකර ලග්න හිමියන් මිටිය.කොයි තරම් වධ හිංසා දුක් කරදර හිරිහැර වින්දද කිසිදු මොහොතක පසුබට නොවේ.තම ඉලක්කය අමතක නොකර ඒ කරා ඇදී යති.
          මුහුණ දිග් හැඩයෙන් යුක්තය. තමන්ගේ තත්ත්වය ආරක්ෂා කර ගැනීමටද අවස්ථානුකූලව කටයුතු කරයි.පවුලේ අයට දැඩි ළෙන්ගතුකමක් දනක්වයි.සතුන්ට කරුණාව දක්වන්ට මැලි නොවේ.උණුවන හදවතක් ඇත.
          තමන්ට වඩා වැඩි වයසකින් යුත් වැඩුණු ස්ත්‍රීන්ට ප්‍රිය කරති.ලෞකික ආශාවන් ඉතා බලවත්ය.කිසිම බලයක් හමුවේ  නොතැවෙයි.තමන් පිළිබද දැඩි වු ආත්ම විශ්වාසයෙන් යුක්තය.බොහෝ තැන්හි ඇවිදියි.එක් තැනෙක සිටින්නට මැලිකමක් දක්වයි.ස්ත්‍රීන්ට වැනි කල්පනාවක් ඇත්තේය.එනිසාම මිත්‍ර භාවය වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි.පවුලේ ස්වකීය ආරක්ෂකයා ලෙසට කටයුතු කරයි.දරුවන්ට වස්තු ඵල අහිමිය.ක්‍රමානුකූලව යමක් පාලනය කිරීමට දක්ෂයින්ය.
     අධිපති     - සනි
     මැණික    - නිල් මැණික්

කුම්භ ලග්නය
          කුම්භ ලග්න හිමියන් භක්තිමත් වුත්, නිශ්චල වුත් ඥානවන්ත වුත් අයවලුන්ය.ජීවිතයේ ගැටළු හමුවේ නිවට නියාළු නොවෙති.මානුෂික අයිතිවාසිකම් ගැන තද ආශාවනක් මෙන්ම උනන්දුවකින්ද කල්පනා කරති.ජීවිතේ එදිනෙදා දුක් කම්කටොලු ඉවසීමෙන් විද දරා ගනිති. තමන්ගේ නුවණින්ම ක්‍රියාකොට බොහෝ දෑ ජය ගනී. කිසිම කෙදිරීමක් නැතිව භාභ්‍ය හෝ අභාග්‍ය ඉවසීමේ පුරුද්ද තිබේ. ආත්මාර්ථය තදින්ම සලකයි. වැදගත් අදහස් නොමසුරුව අනුන්ට කියාදීමට ඒ අනුව චරිතය හැඩ ගස්වා ගැනීමටද ඔවුන්ට පුළුවන.තදින් කිපී, කෑ ගසයි එහෙත් ඒ සැනෙකින්ම සංසිදෙයි, අනුකම්පාව උපදවායි. ඕනෑම ප්‍රගතිශිලි ව්‍යාපාරයක පෙරමුණ ගැනීමට තරම් අවංක හා එඩිතර කමක් නිරාසයෙන්ම ඔවුන්ට හිමිය.
          උස, දිග්වු අයවේ, ස්වභාවයෙන්ම කාරුණිව සිතුවිලි යුතුය.සෑම දෙයක්ම ඉගෙනීමට කැමතිය. උදර කළයක් මෙන් විශාලය. දකින දකින දේ කල්පනා කිරීමේ නොඉවසිලිමත් ගතියෙන්ද යුක්තය. බොහෝ සේ කතා කරයි. බොහෝ දරුවන් ලබයි. සැප ලබයි.ස්වාභාවික තත්ත්වයන්ට ගරු කරයි. පීඩිත ජනයා කෙරෙහි ආදරයක් දක්වයි.අනුගේ දියුණුව ගැන දුක් වේ. අලුත් දෙයට වඩා ගුප්ත දේ පිළිබද විශ්වාස කරයි. අලුත් දේ පිළිගැනීමට පෙර ස්වභාවික තත්ත්වයන් පිළිබදව අවධානය යොමු කරයි. පිළිගැනීමට මදක් මැලිවෙයි.
      අධිපති     - සනි
      මැණික    - නිල් මැණික

මීන ලග්නය
          මීන ලග්න හිමියන්ට දේව පිහිට ලැබේ. කලබලකාරී ගති පැවතුම් ඇත්තෝය. බාල අවධියේදී ඉතාමත් දගකාරය.තිහ ඉක්මවූ විට විට විනෝදයට ප්‍රියතාවක් දක්වයි. අධික ලෙස කෝපයට පත් වේ. බොහෝ විට තම අදහස් ප්‍රකාශ කිරීමෙදී සැගව රහස් දේ සිත්හි තබාගෙන කතා බහ කරති.බොහෝ නැන්හි පසු බසින ගතියද, ලැජ්ජාශිලි බියද නිසා තමන්මට පාඩු සිදු කර ගනිති.අනුන් ගැන සැකයෙන් බැලීම ජන්මයෙන් ලද පුරුද්දකි.අලුත් දේ ප්‍රිය කරති.එහෙත් රැවටෙති. සමහරු බිය හා සැකය යන කරුණු දෙකින් නිතරම පෙළෙති. අසරණයන්ට පිහිට වෙති.එහෙත් අසල්වැසියන් සමග විසීම බෙහෙවින් අපහසුය.ඒ නමුදු හතුරෙකුටවත් ද්‍රෝහිකමක් නොකරති.
          ඉතා ප්‍රසන්න ශරීර ඇත්තේය.ව්‍යාපාරිකයින් හා දක්ෂ වෙළදුන් විමේ වාසනාවෙන් යුතුය.ද්‍රව වර්ග වලින් කෙරෙන ව්‍යාපාර වලදී බොහෝ ලාබ ලබති.පවුලේ තත්ත්වය හා සම්බන්ධතාව ගැන සමහර අවස්ථාවලදී වැඩි සැලකිල්ලක් නොදක්වයි.එහෙත් නිවසේ අය කෙරේ ඇල්මක් ඔවුන් තළ තිබේ.බැගෑපත් නොවේ. එනමුදු කතාවේ දක්ෂයෝය. ඇවිදීමට කැමැත්තක් දක්වති.ආදරය වැනි ප්‍රශ්නවලදී නිශ්චිත තීරණයක් ගැනීමට කෙසේවත් මැලි නොවෙති.
           ලෙඩරෝග පවතී.අධික සෙම් සහිත සිරුරක් හිමිවේ.සතුන්ට මෙන්ම අසරණයන්ට ද පිහිට වීමට කැමතිය.දක්ෂ ලෙස කතා කරයි.යමෙකු තමන් කෙරෙහි දැක්වූ විශ්වාසය එලෙසින් ආරක්ෂා කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගනියි.අඹුවන්ට ප්‍රියවේ.අවුරුදු හතළිහ ඉක්ම වූ දහමට නැඹුරු වේ.මරණින් පසුව හොද ආත්මයකට යාමට පාරමී පුරති.

1 comment:

  1. Best slots casinos USA (2021) - Dr.MCD
    Here's 양산 출장샵 our 경주 출장안마 list of the best casino slots 광주광역 출장마사지 casinos USA 당진 출장샵 (2021) - Check the 경상북도 출장마사지 latest reviews, exclusive bonuses, free spins, slot bonuses,

    ReplyDelete